පාසල්
අවදියේදී නිතරම පත පොත කියවීමේ තදබල පුරුද්දක් මා සතු විය.
කාලයත් සමඟ ඇතිවූ කාර්‍ය බහුලත්වය නිසා එය
තරමක් දුරට අඩු උවද තාමත් කෑම කනවිටත් කුමක් හෝ කියවීමේ පුරුද්දක් මා සතුවෙයි.
පාසල් කාලයේ වෛද්‍ය වරයෙකු වීමේ ආසාවක් නොවූවද
වෛද්‍ය සිසුන්ගේ රසවත් අත්දැකීම් අඩංගු "The
Doctor in the house" නම් ඉංග්‍රීසි
නවකතාව මම ආශාවෙන් කියවූවෙමි. වෛද්‍ය
ශිෂ්‍යයෙකු විසින් සිදු කරන මහා පාඩම් සංග්‍රාමය අතරතුර වීනෝදාත්මක අත්දැකීම්ද ඇති
බව මා දැන ගත්තේ එමගිනි. උසස්
පෙළ සමත්වී සහකාර වෛද්‍ය ශිෂ්‍යයකු බවට
පත්වී ඉගෙන ගන්නා අතරතුර මේ කතාවේ ඇත්ත නැත්ත මට මොනවට පසක් විය.
ඉතා විනෝදයෙන් ජීවිතය පිළිබඳ කිසිදු බරක්
නොමැතිව සැහැල්ලුවෙන් දිවි ගෙවන්නට පුරුදුව සිටි මට එවැනිම පිස්සන් තිදෙනෙකු
රූමලා ලෙස ලැබිණි.
මුදලි,
තඩියා හා සංඝේ සමඟ ෆැකල්ටි නේවාසිකාගාරයේ ගත
කල කාලය නැවත කවරදාවත් නොලැබෙන අත්දැකීම් සමුදායක් හා විනෝදාස්වාදයක් ජීවිතයට එක්
කලේය.
ෆැකල්ටි
ජීවිතයේ රස බර තැන් ගොණු කොට මා විසින් ලියා පලකල "87
කණ්ඩායම"
පොතේ පරිච්ඡේද
කිහිපයක් මෙහි ගොණු
කිරීමට
බලාපොරොත්තු වෙමි.
මේ
එහි පළමු වැන්නයි.
කාමරේ විත්‍ති
( වමේ සිට : හේමන්ත, මම, අතුකෝරළ හා දිසානායක )
මගේ රූමාලා ගැන මින් පෙර
හැඳින්වීමක් කලද, වරින්වර මට මතක් වන හා මතක් කරන දේ ලිවීම සුදුසු යැයි සිතමි.
මුදලි මහනුවර පදිංචි කරුවෙකි. කින්ග්ස්වූඩ් විද්‍යලයයේ ආදි සිසුවෙකු වු ඔහු
බඳින්නට වීම නිසා බැච් එකට
එන විටත් කසාද බැඳ සිටි බව මට කිව්වේ වෙන කවුරුවත් නොව අපේම රූමා වූ මුදලිගේ පරම
හතුරු පාසල වූ ධර්මරාජයේ ඉගෙනුම ලැබූ තඩියාය.
මුදලිගේ පියා මහනුවර ප්‍රකට
වෙද මහතකි. කලානිධි සම්මාන ලැබ සිටි ඔහුගේ පුත්‍ර රත්නය ඕනෑම වෙලාවක කාලා නිදි
බැවින් වල හොස්ටල් එකේ පොරවල් ඔහුව කාලානිධි ලෙසද හැඳින්විය. වතුර ගලන්නාක් මෙන්
කටට කුනුහරුප එන ඔහු දහම් පාසලක් පන්සලක් පැත්‍ත
පලාතේ ගොස් නැතයි මා සිතුවද දහම්
පාසල් ධර්මාචාර්ය විභාගයද සමත් වී දහම් පාසල් ආචාර්ය වරයෙකු ලෙසද කලක් සේවය
කර ඇති බව මුදලි පවසයි. අනෙක් රූම් වල
එවුන් ගණිත ක්‍රමයට කෙටවීම මුදලිගේ හා
මහනුවරින් පැමිණි ඔහුගේ සගයා වූ තඩියා ගේ විනෝදාංශයයි. හැම කාමරයේම ඇඳන් හතරකි.
ගණිත ක්‍රමයට තරහා කිරීමේදී
අඩු කිරීමේ ලකුණ හැඩයට, එනම් එකිනෙකාට ඉස්සරහ ඉන්න උන් දෙන්නෙක් කේලම් කියා තරහා
කරවනු ලැබේ. එකතු කිරීමේ ලකුණ හැඩයට තරහා කිරීමේදී එකිනෙකාට මුහුණ බලා සිටින
දෙදෙනා බැගින් තරහා කරවනු ලැබේ. නමුත් පැත්තට සිටින දෙදෙනා යාළුය. වැඩිකිරීමේ ලකුණ
හැඩයට තරහා කරවනු ලැබූ විට හරහට තියෙන ඇඳන් දෙකේ එවුන් තරහා වෙයි. බෙදීමේ ලකුණ
හැඩයට මුහුණට මුහුණ බලා සිටින දෙදෙනෙකු තරහා අතර අනිත් දෙදෙනා කතා නොකරයි. මේ
කටයුත්‍ත සාර්ථකව කිරීමට ටික කලක් ගතවේ. සමහර විට මේ කර්තව්‍යය කෙතරම් සාර්ථකව
සිදු කලාද කිවහොත් ගුටිබැට හුවමාරුවේ යෙදීමට පවා ආසන්න වෙයි. මගේ වාරය එන්නේ එවිටය.
තෙල බෙදීමෙන් ගැටුම් වැලැක්වීම සඳහා මම උත්සාහ කරන අතර බොහෝවිට එය සාර්ථක වෙයි. ඒ
වෙන හේතුවක් නිසා නොව මම ගැටුම් සමනය කිරීම පිළිබඳ දේශනය දුන් විට වැරදි කරුවා කවුද
කියා කාටවත් හිතා ගැනීමට බැරි වීම නිසා යැයි මගේ ඊරිසියාකාර රූමාලා පවසති. අත පය
විසි කිරීම වලක්වා ජයග්‍රාහී විලාශයෙන් කාමරයට එනවිට මුදලි හා තඩියා බලාපොරොත්තු
කඩවී හිසේ අත ගසාගෙන දුකින් සිටිනු දැකිය හැකිය. "අපේ දවස් ගානක මහන්සිය මේ
ප....යා කෑවා!"
මුදලි පිලිබඳ කාඩ් මහ ගොඩකි.
මේවයින් වැඩි ගණනක නිර්මාතෘ තඩියාය. එයින් එකක් නම් මුදලි මහනුවර සිට කළුතර ජාතික
සෞඛ්‍ය විද්‍යාතනයට දක්වා එන අතරතුර යාළුකර ගන්නා බඩු ගණන ගණන් කිරීමයි. මහනුවර
සිට කොළඹ දක්වා එක බඩුවක් යාළු කරගන්නා අතර කොළඹ සිට කළුතර දක්වා තව එකකි. කළුතර
සිට නාගොඩ දක්වා එකක් වන අතර දුර වැඩි මහනුවර කොළඹ අතර සමහර විට දෙකක් වීමටද
පුළුවණ.
තඩියා මහ විසාල ඇඟක් සහ ඊටම
හරියන බැරිටෝන් කටහඩක් ඇති එකෙකි. කාමරයේ
විසාලම එකා මූය. තඩියා පිළිබඳ වෙනම කතා රාජයෙක් ඉදිරියේදී ලියන අතර මෙහි
දැක්වෙන්නේ ඔහුගේ කාමරයේ ක්‍රියා කාරකම් පමණි. තඩියාගේ ඇඳ ඇත්තේ ජනෙලය ලඟය. සෑම
දාම වාගේ හවසට ගෑණු හොස්ටල් එකේ කෙල්ලෝ නොයෙකුත් දෑ ගැනීමට ටවුන් යති. නැතිනම්
කළුතර බෝධිය වැඳීමට හෝ කටුකුරුන්දේ තැපැල් කාර්යාලයට හෝ යති.
මේ හැම ගමනක්ම ඔවුන් යන්නේ
අපේ කාමරයට පහලින් ඇති පාරෙනි. කෙල්ලන්ගේ කිචිබිචිය ඇසෙනවිටම තඩියා ඉද්ද ගැසුවාක්
මෙන් ඉන්නා තැනින් නැගිටියි. දඩ බඩ ගා ඇඳ උඩට පැනගන්නා ඔහු එහි දණ ගසාගෙන බොහෝ
වේලාවක් අවට නරඹමින් සිටියාක් මෙන් සිට, කෙල්ලන් ලඟට පැමිණි විට, "හාලෝඕඕ ,
කොහෙද යන්නේ?" කෙල පෙරෙන හඬින් අසයි.
"අපි ටවුන් යනවා හෝ
බෝධියට යනවා, ඔයත් එනවද ?" කියා කෙල්ලෝ අසති. තඩියා උත්තර දෙන්නට පෙර
"පාඩම් කරන්න තියෙනවා" කියා අපි ඔහුවත් කෙල්ලන්වත් අධෛර්‍යමත් කරන්නේ මල
පෙරේත කමට කෙල බේරි බේරී තඩියා උඩ තට්ටුවේ ඇති අපේ කාමරයේ ජනේලයෙන් එලියට පනීවි යැයි
බයෙන් මුදලි, සංගේ හා මා එළියේ පහල කෙල්ලන්ට නොපෙනෙන ලෙස තඩියාගේ කකුල් දෙකෙන් වැරෙන්
අල්ලාගෙන සිටින ගමන් ය.
“එහෙනම් අපි යනවා" කියා
කෙල්ලෝ තඩියාට අතවනා ඔහු පසුකර යයි. "බායි, බායි” කියා කෙල්ලන් නොපෙනී යනතුරා
සිටින තඩියා එකවරම ඇඳට පැන උඩුබැලි අතට පෙරලී, "මෙහෙම බඩුවක් නැතුව ඉඳලා
වැඩක් නැහැ" කියා දඩි බිඩි ගා පපුවට ගසා ගනී. මුගේ පර්ශු කැඩේයයි බියට පත්වන
අපි තිදෙනා වහා ඇඳට පැන අමාරුවෙන් අත් දෙක තදකර ඔහු නවතා ගන්නෙමු. මේ මනෝමෙන් ලව්
කිරීම කෙල්ලන් දන්නේ නැත. කෙල්ලන් හිතන්නේ තඩියා හරි ඩීසන්ට් පොරක් බවය. (මුගේ
වල්කම දන්නේ අපිනේ!)
සංගේ ගේ ගම ගම්පහය. ඔහු
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
මුදලිට අනුව සංගේට එම නම සෑදුනේ මෙසේය. සංගේට නෑ වන මහා නායක ස්වාමීන් වහන්සේ
කෙනෙකු සිටියේය. උන් වහන්සේ ජපානයට වඩින
අවස්ථාවක තම ඥාති පුත්‍රයාද රැගෙන යාමට තීරණය කලේය. ඒ සඳහා වීසා ලබා ගැනීමට නොහැකි
වූයෙන් (ඔහුගේ මුහුණ දුටුවිට වීසා නොදීම අපට තේරුම් ගත හැකිය.) මහානායක ස්වාමීන්
වහන්සේ ඔහුව මහණ කරන ලදි. ජපානයට ගොස්
පැමිණීමෙන් පසු සංගයා උපැවදි විය. සංගයාව
සාසනයේ තබා ගැනීම සාසනයට හොඳ නැති බව
තේරුම් ගත් ස්වාමීන් වහන්සේද ඒ ගැන කිසිත් පැවසූයේ නැත.
සංගයා සිය සරම හෝදන්නේ මාස 3
කට වරකි. ඇඳේ බෙඩ් ෂීට්, කොට්ට උරද එසේය. නාන්නේ මාසයකට වරකී. ඇඳුම් බෙඩ් ෂීට් සෝදන්නේ
නැත්තේ මන්දැයි ඇසූවිට ඔහු පවසන්නේ සේදූවිට ඒවායේ ෆ්ලෝරා එක වෙනස් වෙන බැවින්
සෝදන්නේ නැති බවය.
සාක්කි!
උදේ වාට්ටු හෝ ලෙක්චර්ස්
යන්න සූදානම් වී ඔහු සිය සරම වලල්ලක් මෙන් ගලවා ඇඳ උඩ තබා යයි. ආපසු පැමිණි පසු අර
වලල්ල ඇතුලට නැවත බසිනු ලැබේ. සරම සාමාන්‍යයෙන් අඳින්නේ පපුවටය.
කේන්ති ගිය විටත්, තේ හදන
විටත් සරමේ කැහිපටද පපුවටම අඳිනු ලැබේ. තාමත් ඔහුට මේ පුරුද්ද ඇති බව ඔහුගේ බිරිඳ
අද මගේ කලින් කතාවකට කමෙන්ට් දමමින් පවසයි. ඔහු නිදාගන්නේ නැත. ඔහු
"රෙස්ට්" කරයි. නිදිමත වූ විට "මම රෙස්ට් කරන්නද ?" කියා අසා
නිදාගන්නට යයි. සංගේගේ එක් අතක ඇඟිල්ලක ප්‍රශ්නයක් ඇත. ඒ ඇයිදැයි ඇසූවිට මුදලි දෙන
උත්තරය මෙහි සටහන් කල නොහැකිය .
මරයේ මිනිස් හිස් කබලක් හා මිනිස්
ඌර්වස්ථියක් තිබිණ. මේවා කොහෙන් ලැබුනේ දැයි මම නොදනිමි. නමුත් අපට ලැබුනේ අපේ
කට්ටිය හොස්ටල් එකට ඒමට පෙර "ජයමහල්" (NIHS ඉදිරිපිට බෝඩිමක් ) හී
තිබුනු හිස් කබලදැයි මා දන්නේ නැත. කෙසේ නමුත් මේ මිනිස් අස්ථි කොටස් අපි බොහෝ
පරිස්සමින් තබා ගතිමු. ඒවායේ වෙනත් ප්‍රයෝජන තිබිණි.
හිස් කබල ලයිට් නැති වෙලාවට
ඉටිපන්දම් ගැසීම සඳහා ද, පාඩම් කරනවිට නිදි මත වූ විට නිකටට තබාගෙන කිරා ගැසීමටද,
දේශන ලියූ කොල සුළඟේ යාම වැලැක්වීමටද, වලයාව කේන්ති ගැස්වීමටද, (වලයා බලන්න), තනි කමක් දැණුන විට බදා ගෙන
නිදාගැනීමටද, පාවිච්චි කරන ලදි. ඌර්වස්ථිය කේන්ති ගිය විට කේන්ති ගැස්වූ එකාට පහර
දීමටද, අපිට වල දැමීම සඳහා එන එවුන්ව පලවා හැරීමටද, පාවිච්චි කරන ලදි. ඊට අමතරව
වෙනත් කාමර සමඟ ඇතිවන අන්තර් කාමර වලිවලට
ගෙන යාමද කරන ලදි.
බාත් රූම් හා ටොයිලට් පෙළ
පිහිටා තිබුනේ අපේ කාමරයට ඉදිරිපසය. දත් මදින්න යන එකාත්, ටොයිලට් යන එකාත්, රෙදි
සෝදන්න යන එකාත් අපිට වල දැමීමට පැමිණ
දොරට තට්ටු කරයි. එවිට ඔවුනට ඌර්වස්ථි ප්‍රහාරයක් එල්ල වේ.
හොස්ටල් එකට පැමිණි මුල්
කාලයේ මෙහි ටොයිලට් සංස්කෘතියට හැඩ ගැසීමට මට අපහසු විය. කුඩා කල සිටම මට සරම
නුහුරු විය. සරමක් හැඳ ගැටය කොපමණ හොඳින් ගැසුවත් එය පහසුවෙන්ම ගැලවෙයි. කොට කලිසම
හැඳීම ඊට වඩා පහසුය .
එසේම මට සරම නුහුරු බව
තේරුම් ගත් අපේ අපතයන් ඉතාම දරුණු අවස්ථාවල සරම කැඩීමට උත්සාහ කලහ. සරම හැඳ
නිදාගතහොත් පසු දින උදේ අවදිවන විට සරම නැත. මේ නිසා මම හොස්ටල් යනවිට සරම් ගෙන
යාමට මැලි වූයෙමි .
නමුත් අම්මා, "හොස්ටල්
යනකොට සරම් අරන් යන්න" කියා මට බලෙන්ම සරම් දුන්නාය. ඇඟ හෝදන්න යන විට
තුවායද, සරමද, සබන්, දත් බෙහෙත් හා දත් බුරුසුවද රැගෙන යමි. නාන කාමර හා ටොයිලට්
වල අගුළු නැත. තුවා හා සරොම් දමන්නේ දොර උඩිනි. ඒවා දොර උඩින් දමා ඒ පැත්ත බලා මේ
පැත්ත බලන විට තුවායද, සරමද අන්තර්ධාන වෙයි. ඊලඟට ඒවා ආපසු දෙන ලෙස කොපමණ
පින්සෙන්ඩු වුවත් එලියේ එවුන් කතා කරන්නේ වත් නැත. අවසානයේ හිරි ඔතප් අමතක කර උපන්
ඇඳුමෙන් ආපසු තෙත පිටින් කාමරයට ඒමට සිදුවේ.
එහි ඇවිත් බලන විට තුවාය හා
සරම මට පෙර කාමරයට ඇවිත් ඇත. මගේ තුවායෙන් කවුරු හෝ ඇඟ පිසදා ඇති බවද පෙනේ. දෙවන
දින ද මෙසේය. තුවාය හා සරම ආරක්ෂා කරගැනීමට උත්සාහ කලහොත් නාන්නට නොහැකිවේ. අනිත්
එවුන්ද අමු නිරුවතින් බාත් රූම්, ටොයිලට් යන්නේ එන්නේ මේ හේතුව නිසා බව තේරුම්
ගත් මම ඉන් පසුව ඔවුන් මෙන් නිරුවතින් බාත් රූම්, ටොයිලට් යාමට
පුරුදු වුනෙමි. හොස්ටල් ඒමෙන් අපේ හිරි ඔතප් නැති වන්නේ එසේය. මේ ක්‍රමයට විරුද්ධව
සටන් කල එවුන්ද නැත්තේ නොවේ.
සරම හා තුවාය අන්තර්ධාන
වනවිට එය කරන්නේ කවුදැයි හරියටම සොයාගන්නා මේ යක්කු ඇඟ වැහෙන්න සබන් ගා හොල්මනක්
මෙන් නිරුවතින් මේ වැඩේ සිදුකළ එකාගේ කාමරයට යයි. "කැ......යා" කියා කෑ
ගසමින් ඔහු බදා ගනී. ඉන්පසුව ඔහුගේ ඇඳේ පෙරලේ. සබන් හා තෙත පිටින් ඔහුගේ ඇඳුම්
අඳී. ඉන්ෆොමේශන් වැරදී කාව බදා ගනීදැයි නොදන්නා නිසා මුලු කාමරයේම ඉන්නා එවුන් පැන
දුවයි. මේ අවස්ථාවේදීම පරණ ඇරියස් තියෙන එවුන්වද බදා ගන්නා නිසා උන්ද පණ බේරගෙන
දුවති. මේවා දකින අනිත් එවුන්ට හරි ආතල් ය.