කනේ මයිල්!
තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීම අප කාගේත් සිහිනයකි. විශේෂයෙන් රැකියාවට ගිය අලුත ඕනෑම තරුණයෙකු මේ සිහිනය දකී. එය මෝටර් සයිකලයක්ද, කාරයක්ද, ලොරියක්, ත්රී විලරයක් හෝ වෑන් රථයක්ද යන්න පමණක් එක් එක් පුද්ගලයාගේ අවශ්යතාවය හෝ ඔහු දකින සිහිනය අනුව වෙනස් වේ.
වෛද්යවරයකු ලෙස පත්වීම ලබාගත් පළමු දිනයේ සිට මගේද හිතේ කොණක තිබූ ඒ ආශාව තදින්ම මෝදු වන්නට පටන් ගත්තේය. කුඩා කල සිටම මට තිබුණේ කාර් පිස්සුවකි. මා ළදරු පාසල් යාමටත් පෙර මගේ පියා ඔහුගේ සෑම වැටුප් දිනකම මට කුඩා පින්තූර පොතක් ගෙන ඒම පුරුද්දක් කරගෙන සිටියේය. අකුරු කියවීමටත් නොහැකි ඒ අවධියේ ඔහු ගෙනා ලස්සන වාහන පින්තූර ඇති පොත් අතගාමින් එවා බැලීමට මම ආශා කළෙමි. මගේ රථගාය කලින්ම හඳුනාගත් තාත්තා බොහෝවිට මට ගෙන ආවේ මෝටර් රථ හා ගුවන් යානා පින්තූර සහිත කුඩා පොත්ය. මුලදී පින්තූර බලා සැනසුනු මම යන්තම් අකුරු කියවීමට හැකිවූ පසු එම පින්තූර යටින් ඉංග්රීසියෙන් ඇති විස්තරය කියවා තේරුම් ගැනීමට උත්සාහ කළෙමි. තාත්තගේ මේ කර්ථව්යය අවසාන වූයේ මා තදින්ම පොත් කියවීමට ඇබ්බැහි වීමෙන් හා මගේ ඉංග්රීසි හා සිංහල හැකියාව වයසට වඩා දියුණු වීමෙනි. පාසල් වියට එනවිට මට පාරේ ගමන් කරන ඕනෑම කාරයක් හෝ මෝටර් සයිකලයක් නමෙන් හඳුනාගැනීමට හැකිවූ අතර දෙවන ලෝක යුද්ධයේදී මිත්ර හමුදා හා නාසීන් පැදවූ ඕනෑම ප්රහාරක ගුවන් යානයක් හඳුනා ගැනීමටත් හැකිවිය.
පවුලේ එකම දරුවා වීමත්, දෙමව්පියන්ට වියපැහැදම් කිරීමට සිදුනොවීමත්, ගෙවල් හදන්නට හෝ වෙනත් බරක් නොතිබූ නිසාත් මට තිබුණේ එකම එක සිහිනයකි. එනම් රස්සාවට ආ පසු පළමුවෙන්ම කාරයක් ගැනීමේ සිහිනයයි. කුඩා කල මගේ පියාට අයත් වූ "ජිලේරා" මෝටර් සයිකලයේ ටැංකිය උඩ වාඩිවී කුරුණෑගල මගේ පියාගේ මහගෙදර යාමට එකල මම ප්රිය කළෙමි. අම්මාත් තාත්තාත් සමඟ ආඩම්බරයෙන් මෝටර් සයිකලයේ නැගී ගිය ඒ ගමන් බිමන් අවසන් වූයේ, ශිෂ්යත්ව පංතියේ සිටි මම යන්තම් ඇඟිලි තුඩුවලින් කකුල් ගසා තාත්තාගේ ජිලේරා මෝටර් සයිකලය පදින්නට පටන් ගත් පසුය. දැන් කාලේ මෝටර් සයිකල මෙන් නොව එම 175CC ඉතාලි මෝටර් සයිකලය සෑහෙන බරකින් යුතුවිය. වරක් එහි සයිලන්සරය කකුලේ ගෑවී ඇතිවුනු පිළිස්සුම් තුවාලයේ මහ කැළල අදත් පැහැදිළිව පෙනේ. දවසක් දෙකක් අම්මා එහෙ මෙහෙ වූ අවස්ථාවල අහල පහල මිතුරන්ගේ සහයෝගයෙන් මෝටර් සයිකලය නිවසින් එලියට ගෙන තාත්තා වැඩට ගොස් නිවසට පැමිණීමට පෙර ගේ ඉදිරිපිට පිට්ටනියේ රවුම් ගැසීම කෙළවර වූයේ මටත් තාත්තාටත් දෙදෙනාටම ඒ අනර්ඝ මෝටර් සයිකලය අහිමි වීමෙනි. වෙන්නට යන විනාශය තේරුම් ගත් නිසාදෝ තත්තාත් එයට විරෝධය ප්රකාශ කළේ නැත. සිය මෝටර් බයිසිකලය අහිමිවීමේ දුක ඔහු තුනී කර ගන්නට ඇත්තේ සිය පුතා අහිමිවීම ඊට වඩා බියකරු යැයි සිතුනු නිසා වන්නට ඇත. නමුත් කිසි දිනක තම මෝටර් සයිකලය පැදීම ගැන ඔහු මට තරවටු කලේ නැත.
ඉදින් වසර ගණනාවකට පසු වැලිගම දිසා රෝහලේ අලුත්ම අලුත් දොස්තර පත්වීමක් ලැබ වැඩ බාරගත් දිනයේ "අවුරුද්දක් ඇතුලත කාර් එකක් ගන්නවා"යැයි අදිටන් කර ගතිමි. 1994 ජූලි 15 වෙනිදා රැකියාවට වාර්ථා කල මම 1995 මැයි මාසයේදී මගේ රථල්ගායට පළමු ප්රථිකාරය ගත්තෙමි. අතේ මිටේ ලොකු මුදලක් නොතිබූ නිසා හා ණයවීමට තිබූ බිය නිසා මට ගැලපෙන මඳක් පැරණි මෝටර් රථයක් පත්තර බලමින් සෙවූ මගේ සිත ගියේ වොක්ස්වාගන් බීටල් රථයකටයි. 7 ශ්රී 3080 රතුපාට බීටල් රථය 1300cc වායූ සිසිලන එන්ජිමක් සහිත මෝටර් රථයකි. එහි එන්ජිම ඇත්තේ වාහනයේ පිටුපසිනි. ලංකාවේ වටිනාකම වැඩි යැයි සැළකෙන පිටුපස වීදුරුවේ කෙළවර කවුළු සහිත (කණේ මයිල්) රථයක් වූ එය කහතුඩුව ප්රදේශයේ කෙනෙකු සතු විය. මගේ බාප්පා පොලීසියේ ඉහල නිලධාරියෙකු වීමත් ඔහු එම ප්රදේශය හොඳින් දන්නා නිසාත් ඔහුගේ හිතවතෙකු යවා වාහනය පිළිබඳ තත්ව සමීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මම මගේ පියා සමඟ ගොස් නමෝ විත්තියෙන් කාර් රථයක හිමිකරුවකු වූයෙමි.
ෆැකල්ටයෙන් පිටවන විට මගේ මිතුරෙකුගේ ඥාතියෙකු සතු කළුතර රත්න ලර්නර්ස් මඟින් අපි සියළුදෙනා රියදුරු බලපත් ලබා ගත්තද අපේම කියා වාහනයක් නොතිබූ නිසා හුරුව තිබුණේ නැත. මට වාහන පැදවීම පළමුවෙන්ම ඉගැන්වූයේ අපේ ලොකු මාමා විසිනි. මහප්පා සතු එල්ෆ් රූට් වෑනය ඉල්ලාගත් ඔහු මටත් මගේ ඥාති සොයුරු සුරන් මල්ලීටත් වාහන පැදවීමට කියා දුන්නේය. නමුත් නිතර වාහන පැදවීමක් සිදු නොවුන බැවින් අතේ හුරුව තිබුණේ නැත.
බීටල් රථය පැදවීම එතරම් අපහසු නැත. පවර් ස්ටියරිං හෙවත් බල සුක්කානම් නැතත් ඇඟිල්ලෙන් හැරවිය හැකි ලෙස එහි සුක්කානම සුමට විය. ප්රශ්නය වූයේ එහි ගියර් පද්ධතියයි. බීට්ල් රථයේ ගියරය දැමිය යුත්තේ ඇදයටය. අත අමුතුම අයුරින් කරකවා පළවෙනි ගියරයට දමන ආකාරය මගේ මෝටර් රථ දොස්තර "චූටි" කොපමණ කියා දූන්නත් පළවෙනි ගියරයට දැමීම හරි ගියේම නැත. පසුව ලේසි ක්රමයක් සොයාගත් මම දෙවන ගියරයේ වාහනය ගෙනයාමට පුරුදු උනෙමි. මේ ක්රමයෙන් තැන්නේ වාහනය ගෙනයාමට හැකි උවද කන්දේ යාමට ඒ ක්රමය හරිගියේ නැත. වැලිගම වලාන දිසා රෝහල පිහිටා තියෙන්නේ මහ කන්දක් මුදුනේ වීම මම අමාරුවේ වැටීමට හේතුවක් විය. කාරය වැලිගමට ගෙනා මුල් දිනයේ රෝහල වෙත පදවාගෙන යන අතර වේගයෙන් වෙල අයිනෙන් ගොස් කළු මහත්තයගේ කඩය ලඟින් වේගයෙන් කන්ද ඇදීම මගේ සැළසුම විය. එහි මුල් කොටස ටක්කෙටම හරි ගියේය. වේගයෙන් කාරය පදවාගෙන ගිය මම කණේ වැලි ගෑවෙන්නට වංගුව ගත්තෙමි. කරුමයක මහත! පල්ලම් බසිමින් තිබුණු ලොරි බාගයක් මගේ ප්ලෑන බකල් කළේය. අමාරුවෙන් කන්දේ අඩි දහයක් පමණ නැග ගත්තද වාහනය දඩස් හා නැවතුණි. කාරය නැවත පල්ලමට ගොස් කළු මහත්තයාගේ කඩයට කඩා වැදීම නැවැත්වීම පිණිස වෙර යොදා තිරිංග පාගාගෙන සිටින අතර අත් තිරිංග ඇද ගියරය නියුට්රල් කර නැවත වාහනය පණ ගන්වා දන්න සෙල්ලං සියල්ල දැමූ මුත් අම්මේ මුත්තේ කියාවත් පළවෙනි ගියරයට වැටුණේ නැත.
මේ අතර කළු මහත්තයත් එහි තේ බොමින් සිටි සෞඛ්ය වෛද්ය කාර්යාලයේ රියදුරු මහතාත් මගේ මේ නිෂ්ඵල ව්යායාමය බලා සිටි බව මම දැන සිටියේ නැත. සෙමෙන් සෙමෙන් මට උත්සාහ කරන්නට වෙලා දෙමින් මෝටර් රථය වෙත පැමිණි රියදුරු මහතා,"නියුට්රල් කරන්න සර්" යැයි පවසා ඉදිරිපස ජනේලයෙන් අත දමා කිසිවක් නොවූ ගාණට ගියරය දමා, "හරි සර් දැන් ගන්න" කියා පසුපසට විය. වේගයෙන් ඇක්සලේටරය පාගා වාහනය කන්ද මුදුනටත් එතනින් මගේ නිල නිවසටත් පදවාගෙන ගිය මම පසුව රියදුරු මහතාට ස්තූති කලෙමි. සිනහසී එය බාරගත් ඔහු "ඕක දාන්නේ මෙහෙමයි" කියා මට පළවෙනි ගියරයට දානා ආකාරය කියා දුන්නේය. කෙසේ වෙතත් මට හරියට ගියරය දා ගැනීමට පුරුදු වීමට මාස හයක් පමණ ගත විය. (මතු සම්බන්ධයි) රවි ධර්මසේන.
බොහොම අගෙයි!
ReplyDeleteඅළුත් බ්ලොග්කරුවෙක් එකතුවෙනවා කියන එක මේ කාලේ කොච්චර දෙයක්ද?
තට්ටයා ලිංක් එක දාපු නිසා දැක්කේ. සින්ඩිකේටර් කීපයකටත් එකතු කරමු!
බලාගෙන ඉන්නං රිවස් එක දානකල් එතකොට කොමෙන්ට් එකක් දාන්ඩ බැරියැ.
ජයවේවා!
Myself Hattor
ස්තූතියි හැට්ටර්, මගේ කුළුඳුල් බ්ලොග් වෑයමට හයියක් දෙන්න ගොඩ වැදුනට! මේ දවස් වල කෝවිඩ් ප්‍රශ්ණේ නිසා රෝහලේ සෑහෙන වැඩ. ස්තූති කරන්නට පමා උනාට තරහා වෙන්න එපා. අළුත් යමක් ඉගෙන ගන්නට ඔයාගේ බ්ලොග් පිටුවටත් ඉක්මනට ගොඩවෙනවා!
Deleteඔන්න රජෝ මං ආවා
ReplyDeleteතට්ටයාගෙ මඟ දැකලා
අනිත් දෙකම කියවාලා
මෙය විතරක් මඟ හැරලා
යමි, දෙපයම හුරු හින්දා!
ස්තූතියි නිදී, නවක මගේ පිටුවට ගොඩ වැදිලා මට අත දෙන්නට ඉදිරිපත් උනාට. කෝවිඩ් එක්ක මේ දවස් වල රෝහලේ සටන් වදින නිසා මගේ පිටුවට ගොඩ වෙන්නත් මට අත හිත දෙන ඔයාලට ස්තූතියි කියන්න පරක්කු උනාට තරහා වෙන්න එපා. ඉක්මනටම ඔයාගේ පිටුවටත් ගොඩවෙලා මට ඉගෙනගන්න තියෙන දේවල් බලන්න ඕනේ. එතකන් මට කල් දෙන්න.
Deleteමම ආවෙත් "තට්ටයාගේ කොළමේ" තිබුනේ ලින්ක් එකෙනුයි.
ReplyDeleteෆොක්ස්වැගන් එකක රිවස් එකට දාගන්න බැරි උනා කියන එක නම් වෙන්න පුළුවන්. ඒ උනාට ෆස්ට් එකට? අනේ මන්දා.
බ්ලොග් එකට සුභ පැතුම්!
ස්තූතියි සෑම්, මගේ පිටුවට ගොඩවෙලා අත හිත දෙන්න ආවට! කොවිඩ් නිසා වැඩ වැඩිවෙලා දඟලන නිසා මේ දිනවල මගේ පිටුවට ගොඩවෙලා අත හිත දුන්න ඔයාලව අඳුනගන්නයි ස්තූති කරන්නයි පරක්කු උනාට තරහාවෙන්න එපා. ඔයාගේ පිටුවටත් ගොඩවෙලා ඉගෙනගන්න කියවන්න ඕනේ. එතකන් ස්තූතියි.
Deleteමාත් ආව. තට්ට මඟපෙන්වීම අනුව. ෆලොවර්ස් ගැජට් එක දාගන්න... බ්ලොග් ගැන මොනවහරි දැනගන්න ඔන්නං මේල් එකක් දාන්න drackey@gmail.com
ReplyDeleteඅපේ පැත්තෙත් එන්න drackey.blogspot.com
ස්තූතියි ඩ්‍රැකී, මාව blogger කෙනෙක් කරන්නත් blog ලෝකයට අඳුන්වලා දෙන්නයි තට්ටයා කරන මෙහෙය විශිෂ්ඨයි. ඉතින් කොරෝනා නිසා මේ දවස් වල බ්ලොග් එකට ඇවිල්ලා මට අත හිත දෙන ඕගොල්ලන්ට ස්තූතියි කියන්නත් ඔයාලගේ බ්ලොග් කියවන්නත් බැරි උනා. ගුරුහරුකම් ගන්නත්, තව ඉගෙන ගන්නත් ඔයාගේ බ්ලොග් එකටත් ඉක්මනටම ගොඩවෙනවා. එතකන් ස්තූතියි !
Deleteඅලුත් වැඩේට සුබ පැතුම් ලියමු දිගටම. හැලෙන්නැතිව.. ජය
ReplyDeleteawanhala.blogspot.com
ස්තූතියි මහේෂ්, කොරෝනා එක්ක හැප්පෙන නිසා මේ දවස් වල මගේ බ්ලොග් එකට ගොඩවෙලා අත හිත දෙන ඔයාලව අඳුන ගන්නත් ඔයාලගේ පිටු වලට එබිලා යමක් ඉගෙන ගන්නත් පරක්කු උනා. ඉක්මනට එනවා, එතකන් ස්තූතියි !
Deleteමගේ කුළුඳුල් බ්ලොග් පිටුවට ගොඩවෙලා මට අත දෙන්න ඉඉදිරිපත් වෙච්ච හැට්ටර්, නිදී,සෑම්, ඩ්‍රැකී සහ මහේෂ්ටත් මේ බ්ලොග් එකේ godfather තට්ටයාටත් පිං!
ReplyDeletenice
ReplyDeleteඒ කියන්නේ බයිටින්ග් පොයින්ට් එක අහ්රියට අල්ලලා නැතිව
ReplyDeleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "4. එන්න මගේ ප්‍රිය මිතුරෝ (නැවුම් බ්ලොග් නිර්මාණ)" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න
ReplyDelete