Thursday, August 26, 2021

3. මගේ රථගාය 1

කනේ මයිල්!
තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීම අප කාගේත් සිහිනයකි. විශේෂයෙන් රැකියාවට ගිය අලුත ඕනෑම තරුණයෙකු මේ සිහිනය දකී. එය මෝටර් සයිකලයක්ද, කාරයක්ද, ලොරියක්, ත්රී විලරයක් හෝ වෑන් රථයක්ද යන්න පමණක් එක් එක් පුද්ගලයාගේ අවශ්යතාවය හෝ ඔහු දකින සිහිනය අනුව වෙනස් වේ.
වෛද්යවරයකු ලෙස පත්වීම ලබාගත් පළමු දිනයේ සිට මගේද හිතේ කොණක තිබූ ඒ ආශාව තදින්ම මෝදු වන්නට පටන් ගත්තේය. කුඩා කල සිටම මට තිබුණේ කාර් පිස්සුවකි. මා ළදරු පාසල් යාමටත් පෙර මගේ පියා ඔහුගේ සෑම වැටුප් දිනකම මට කුඩා පින්තූර පොතක් ගෙන ඒම පුරුද්දක් කරගෙන සිටියේය. අකුරු කියවීමටත් නොහැකි ඒ අවධියේ ඔහු ගෙනා ලස්සන වාහන පින්තූර ඇති පොත් අතගාමින් එවා බැලීමට මම ආශා කළෙමි. මගේ රථගාය කලින්ම හඳුනාගත් තාත්තා බොහෝවිට මට ගෙන ආවේ මෝටර් රථ හා ගුවන් යානා පින්තූර සහිත කුඩා පොත්ය. මුලදී පින්තූර බලා සැනසුනු මම යන්තම් අකුරු කියවීමට හැකිවූ පසු එම පින්තූර යටින් ඉංග්රීසියෙන් ඇති විස්තරය කියවා තේරුම් ගැනීමට උත්සාහ කළෙමි. තාත්තගේ මේ කර්ථව්යය අවසාන වූයේ මා තදින්ම පොත් කියවීමට ඇබ්බැහි වීමෙන් හා මගේ ඉංග්රීසි හා සිංහල හැකියාව වයසට වඩා දියුණු වීමෙනි. පාසල් වියට එනවිට මට පාරේ ගමන් කරන ඕනෑම කාරයක් හෝ මෝටර් සයිකලයක් නමෙන් හඳුනාගැනීමට හැකිවූ අතර දෙවන ලෝක යුද්ධයේදී මිත්ර හමුදා හා නාසීන් පැදවූ ඕනෑම ප්රහාරක ගුවන් යානයක් හඳුනා ගැනීමටත් හැකිවිය.
පවුලේ එකම දරුවා වීමත්, දෙමව්පියන්ට වියපැහැදම් කිරීමට සිදුනොවීමත්, ගෙවල් හදන්නට හෝ වෙනත් බරක් නොතිබූ නිසාත් මට තිබුණේ එකම එක සිහිනයකි. එනම් රස්සාවට ආ පසු පළමුවෙන්ම කාරයක් ගැනීමේ සිහිනයයි. කුඩා කල මගේ පියාට අයත් වූ "ජිලේරා" මෝටර් සයිකලයේ ටැංකිය උඩ වාඩිවී කුරුණෑගල මගේ පියාගේ මහගෙදර යාමට එකල මම ප්රිය කළෙමි. අම්මාත් තාත්තාත් සමඟ ආඩම්බරයෙන් මෝටර් සයිකලයේ නැගී ගිය ඒ ගමන් බිමන් අවසන් වූයේ, ශිෂ්යත්ව පංතියේ සිටි මම යන්තම් ඇඟිලි තුඩුවලින් කකුල් ගසා තාත්තාගේ ජිලේරා මෝටර් සයිකලය පදින්නට පටන් ගත් පසුය. දැන් කාලේ මෝටර් සයිකල මෙන් නොව එම 175CC ඉතාලි මෝටර් සයිකලය සෑහෙන බරකින් යුතුවිය. වරක් එහි සයිලන්සරය කකුලේ ගෑවී ඇතිවුනු පිළිස්සුම් තුවාලයේ මහ කැළල අදත් පැහැදිළිව පෙනේ. දවසක් දෙකක් අම්මා එහෙ මෙහෙ වූ අවස්ථාවල අහල පහල මිතුරන්ගේ සහයෝගයෙන් මෝටර් සයිකලය නිවසින් එලියට ගෙන තාත්තා වැඩට ගොස් නිවසට පැමිණීමට පෙර ගේ ඉදිරිපිට පිට්ටනියේ රවුම් ගැසීම කෙළවර වූයේ මටත් තාත්තාටත් දෙදෙනාටම ඒ අනර්ඝ මෝටර් සයිකලය අහිමි වීමෙනි. වෙන්නට යන විනාශය තේරුම් ගත් නිසාදෝ තත්තාත් එයට විරෝධය ප්රකාශ කළේ නැත. සිය මෝටර් බයිසිකලය අහිමිවීමේ දුක ඔහු තුනී කර ගන්නට ඇත්තේ සිය පුතා අහිමිවීම ඊට වඩා බියකරු යැයි සිතුනු නිසා වන්නට ඇත. නමුත් කිසි දිනක තම මෝටර් සයිකලය පැදීම ගැන ඔහු මට තරවටු කලේ නැත.


ඉදින් වසර ගණනාවකට පසු වැලිගම දිසා රෝහලේ අලුත්ම අලුත් දොස්තර පත්වීමක් ලැබ වැඩ බාරගත් දිනයේ "අවුරුද්දක් ඇතුලත කාර් එකක් ගන්නවා"යැයි අදිටන් කර ගතිමි. 1994 ජූලි 15 වෙනිදා රැකියාවට වාර්ථා කල මම 1995 මැයි මාසයේදී මගේ රථල්ගායට පළමු ප්රථිකාරය ගත්තෙමි. අතේ මිටේ ලොකු මුදලක් නොතිබූ නිසා හා ණයවීමට තිබූ බිය නිසා මට ගැලපෙන මඳක් පැරණි මෝටර් රථයක් පත්තර බලමින් සෙවූ මගේ සිත ගියේ වොක්ස්වාගන් බීටල් රථයකටයි. 7 ශ්රී 3080 රතුපාට බීටල් රථය 1300cc වායූ සිසිලන එන්ජිමක් සහිත මෝටර් රථයකි. එහි එන්ජිම ඇත්තේ වාහනයේ පිටුපසිනි. ලංකාවේ වටිනාකම වැඩි යැයි සැළකෙන පිටුපස වීදුරුවේ කෙළවර කවුළු සහිත (කණේ මයිල්) රථයක් වූ එය කහතුඩුව ප්රදේශයේ කෙනෙකු සතු විය. මගේ බාප්පා පොලීසියේ ඉහල නිලධාරියෙකු වීමත් ඔහු එම ප්රදේශය හොඳින් දන්නා නිසාත් ඔහුගේ හිතවතෙකු යවා වාහනය පිළිබඳ තත්ව සමීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මම මගේ පියා සමඟ ගොස් නමෝ විත්තියෙන් කාර් රථයක හිමිකරුවකු වූයෙමි.
ෆැකල්ටයෙන් පිටවන විට මගේ මිතුරෙකුගේ ඥාතියෙකු සතු කළුතර රත්න ලර්නර්ස් මඟින් අපි සියළුදෙනා රියදුරු බලපත් ලබා ගත්තද අපේම කියා වාහනයක් නොතිබූ නිසා හුරුව තිබුණේ නැත. මට වාහන පැදවීම පළමුවෙන්ම ඉගැන්වූයේ අපේ ලොකු මාමා විසිනි. මහප්පා සතු එල්ෆ් රූට් වෑනය ඉල්ලාගත් ඔහු මටත් මගේ ඥාති සොයුරු සුරන් මල්ලීටත් වාහන පැදවීමට කියා දුන්නේය. නමුත් නිතර වාහන පැදවීමක් සිදු නොවුන බැවින් අතේ හුරුව තිබුණේ නැත.
බීටල් රථය පැදවීම එතරම් අපහසු නැත. පවර් ස්ටියරිං හෙවත් බල සුක්කානම් නැතත් ඇඟිල්ලෙන් හැරවිය හැකි ලෙස එහි සුක්කානම සුමට විය. ප්රශ්නය වූයේ එහි ගියර් පද්ධතියයි. බීට්ල් රථයේ ගියරය දැමිය යුත්තේ ඇදයටය. අත අමුතුම අයුරින් කරකවා පළවෙනි ගියරයට දමන ආකාරය මගේ මෝටර් රථ දොස්තර "චූටි" කොපමණ කියා දූන්නත් පළවෙනි ගියරයට දැමීම හරි ගියේම නැත. පසුව ලේසි ක්රමයක් සොයාගත් මම දෙවන ගියරයේ වාහනය ගෙනයාමට පුරුදු උනෙමි. මේ ක්රමයෙන් තැන්නේ වාහනය ගෙනයාමට හැකි උවද කන්දේ යාමට ඒ ක්රමය හරිගියේ නැත. වැලිගම වලාන දිසා රෝහල පිහිටා තියෙන්නේ මහ කන්දක් මුදුනේ වීම මම අමාරුවේ වැටීමට හේතුවක් විය. කාරය වැලිගමට ගෙනා මුල් දිනයේ රෝහල වෙත පදවාගෙන යන අතර වේගයෙන් වෙල අයිනෙන් ගොස් කළු මහත්තයගේ කඩය ලඟින් වේගයෙන් කන්ද ඇදීම මගේ සැළසුම විය. එහි මුල් කොටස ටක්කෙටම හරි ගියේය. වේගයෙන් කාරය පදවාගෙන ගිය මම කණේ වැලි ගෑවෙන්නට වංගුව ගත්තෙමි. කරුමයක මහත! පල්ලම් බසිමින් තිබුණු ලොරි බාගයක් මගේ ප්ලෑන බකල් කළේය. අමාරුවෙන් කන්දේ අඩි දහයක් පමණ නැග ගත්තද වාහනය දඩස් හා නැවතුණි. කාරය නැවත පල්ලමට ගොස් කළු මහත්තයාගේ කඩයට කඩා වැදීම නැවැත්වීම පිණිස වෙර යොදා තිරිංග පාගාගෙන සිටින අතර අත් තිරිංග ඇද ගියරය නියුට්රල් කර නැවත වාහනය පණ ගන්වා දන්න සෙල්ලං සියල්ල දැමූ මුත් අම්මේ මුත්තේ කියාවත් පළවෙනි ගියරයට වැටුණේ නැත.
මේ අතර කළු මහත්තයත් එහි තේ බොමින් සිටි සෞඛ්ය වෛද්ය කාර්යාලයේ රියදුරු මහතාත් මගේ මේ නිෂ්ඵල ව්යායාමය බලා සිටි බව මම දැන සිටියේ නැත. සෙමෙන් සෙමෙන් මට උත්සාහ කරන්නට වෙලා දෙමින් මෝටර් රථය වෙත පැමිණි රියදුරු මහතා,"නියුට්රල් කරන්න සර්" යැයි පවසා ඉදිරිපස ජනේලයෙන් අත දමා කිසිවක් නොවූ ගාණට ගියරය දමා, "හරි සර් දැන් ගන්න" කියා පසුපසට විය. වේගයෙන් ඇක්සලේටරය පාගා වාහනය කන්ද මුදුනටත් එතනින් මගේ නිල නිවසටත් පදවාගෙන ගිය මම පසුව රියදුරු මහතාට ස්තූති කලෙමි. සිනහසී එය බාරගත් ඔහු "ඕක දාන්නේ මෙහෙමයි" කියා මට පළවෙනි ගියරයට දානා ආකාරය කියා දුන්නේය. කෙසේ වෙතත් මට හරියට ගියරය දා ගැනීමට පුරුදු වීමට මාස හයක් පමණ ගත විය. (මතු සම්බන්ධයි) රවි ධර්මසේන.









Palitha Kariyawasan Don Weerasinghe, Lalith Sandaruwan Wijeratne and 119 others
73 Comments
1 Share
Like
Comment
Share

2. දොස්තර පැටව් 1


 


පාසල් අවදියේදී නිතරම පත පොත කියවීමේ තදබල පුරුද්දක් මා සතු විය. කාලයත් සමඟ ඇතිවූ කාර්‍ය බහුලත්වය නිසා එය තරමක් දුරට අඩු උවද තාමත් කෑම කනවිටත් කුමක් හෝ කියවීමේ පුරුද්දක් මා සතුවෙයි. පාසල් කාලයේ වෛද්‍ය වරයෙකු වීමේ ආසාවක් නොවූවද වෛද්‍ය සිසුන්ගේ රසවත් අත්දැකීම් අඩංගු "The Doctor in the house" නම් ඉංග්‍රීසි නවකතාව මම ආශාවෙන් කියවූවෙමි. වෛද්‍ය ශිෂ්‍යයෙකු විසින් සිදු කරන මහා පාඩම් සංග්‍රාමය අතරතුර වීනෝදාත්මක අත්දැකීම්ද ඇති බව මා දැන ගත්තේ එමගිනි. උසස් පෙළ සමත්වී සහකාර වෛද්‍ය ශිෂ්‍යයකු බවට පත්වී ඉගෙන ගන්නා අතරතුර මේ කතාවේ ඇත්ත නැත්ත මට මොනවට පසක් විය. ඉතා විනෝදයෙන් ජීවිතය පිළිබඳ කිසිදු බරක් නොමැතිව සැහැල්ලුවෙන් දිවි ගෙවන්නට පුරුදුව සිටි මට එවැනිම පිස්සන් තිදෙනෙකු රූමලා ලෙස ලැබිණි. මුදලි, තඩියා හා සංඝේ සමඟ ෆැකල්ටි නේවාසිකාගාරයේ ගත කල කාලය නැවත කවරදාවත් නොලැබෙන අත්දැකීම් සමුදායක් හා විනෝදාස්වාදයක් ජීවිතයට එක් කලේය.

ෆැකල්ටි ජීවිතයේ රස බර තැන් ගොණු කොට මා විසින් ලියා පලකල "87 කණ්ඩායම" පොතේ පරිච්ඡේද කිහිපයක් මෙහි ගොණු කිරීමට  බලාපොරොත්තු වෙමි.

මේ එහි පළමු වැන්නයි.

කාමරේ විත්‍ති

                                                 වමේ සිට  :  හේමන්ත, මම, අතුකෝරළ හා දිසානායක )

මගේ රූමාලා ගැන මින් පෙර හැඳින්වීමක් කලද, වරින්වර මට මතක් වන හා මතක් කරන දේ ලිවීම සුදුසු යැයි සිතමි. මුදලි මහනුවර පදිංචි කරුවෙකි. කින්ග්ස්වූඩ් විද්‍යලයයේ ආදි සිසුවෙකු වු ඔහු               

බඳින්නට වීම නිසා බැච් එකට එන විටත් කසාද බැඳ සිටි බව මට කිව්වේ වෙන කවුරුවත් නොව අපේම රූමා වූ මුදලිගේ පරම හතුරු පාසල වූ ධර්මරාජයේ ඉගෙනුම ලැබූ තඩියාය.

මුදලිගේ පියා මහනුවර ප්‍රකට වෙද මහතකි. කලානිධි සම්මාන ලැබ සිටි ඔහුගේ පුත්‍ර රත්නය ඕනෑම වෙලාවක කාලා නිදි බැවින් වල හොස්ටල් එකේ පොරවල් ඔහුව කාලානිධි ලෙසද හැඳින්විය. වතුර ගලන්නාක් මෙන් කටට කුනුහරුප එන ඔහු දහම් පාසලක් පන්සලක් පැත්‍ත  පලාතේ ගොස් නැතයි මා සිතුවද  දහම් පාසල් ධර්මාචාර්ය විභාගයද සමත් වී දහම් පාසල් ආචාර්ය වරයෙකු ලෙසද කලක් සේවය කර  ඇති බව මුදලි පවසයි. අනෙක් රූම් වල එවුන්  ගණිත ක්‍රමයට කෙටවීම මුදලිගේ හා මහනුවරින් පැමිණි ඔහුගේ සගයා වූ තඩියා ගේ විනෝදාංශයයි. හැම කාමරයේම ඇඳන් හතරකි.

ගණිත ක්‍රමයට තරහා කිරීමේදී අඩු කිරීමේ ලකුණ හැඩයට, එනම් එකිනෙකාට ඉස්සරහ ඉන්න උන් දෙන්නෙක් කේලම් කියා තරහා කරවනු ලැබේ. එකතු කිරීමේ ලකුණ හැඩයට තරහා කිරීමේදී එකිනෙකාට මුහුණ බලා සිටින දෙදෙනා බැගින් තරහා කරවනු ලැබේ. නමුත් පැත්තට සිටින දෙදෙනා යාළුය. වැඩිකිරීමේ ලකුණ හැඩයට තරහා කරවනු ලැබූ විට හරහට තියෙන ඇඳන් දෙකේ එවුන් තරහා වෙයි. බෙදීමේ ලකුණ හැඩයට මුහුණට මුහුණ බලා සිටින දෙදෙනෙකු තරහා අතර අනිත් දෙදෙනා කතා නොකරයි. මේ කටයුත්‍ත සාර්ථකව කිරීමට ටික කලක් ගතවේ. සමහර විට මේ කර්තව්‍යය කෙතරම් සාර්ථකව සිදු කලාද කිවහොත්  ගුටිබැට හුවමාරුවේ  යෙදීමට පවා ආසන්න වෙයි. මගේ වාරය එන්නේ එවිටය. තෙල බෙදීමෙන් ගැටුම් වැලැක්වීම සඳහා මම උත්සාහ කරන අතර බොහෝවිට එය සාර්ථක වෙයි. ඒ වෙන හේතුවක් නිසා නොව මම ගැටුම් සමනය කිරීම පිළිබඳ දේශනය දුන් විට වැරදි කරුවා කවුද කියා කාටවත් හිතා ගැනීමට බැරි වීම නිසා යැයි මගේ ඊරිසියාකාර රූමාලා පවසති. අත පය විසි කිරීම වලක්වා ජයග්‍රාහී විලාශයෙන් කාමරයට එනවිට මුදලි හා තඩියා බලාපොරොත්තු කඩවී හිසේ අත ගසාගෙන දුකින් සිටිනු දැකිය හැකිය. "අපේ දවස් ගානක මහන්සිය මේ ප....යා කෑවා!"

මුදලි පිලිබඳ කාඩ් මහ ගොඩකි. මේවයින් වැඩි ගණනක නිර්මාතෘ තඩියාය. එයින් එකක් නම් මුදලි මහනුවර සිට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයට දක්වා එන අතරතුර යාළුකර ගන්නා බඩු ගණන ගණන් කිරීමයි. මහනුවර සිට කොළඹ දක්වා එක බඩුවක් යාළු කරගන්නා අතර කොළඹ සිට කළුතර දක්වා තව එකකි. කළුතර සිට නාගොඩ දක්වා එකක් වන අතර දුර වැඩි මහනුවර කොළඹ අතර සමහර විට දෙකක් වීමටද පුළුවණ.

තඩියා මහ විසාල ඇඟක් සහ ඊටම හරියන  බැරිටෝන් කටහඩක් ඇති එකෙකි. කාමරයේ විසාලම එකා මූය. තඩියා පිළිබඳ වෙනම කතා රාජයෙක් ඉදිරියේදී ලියන අතර මෙහි දැක්වෙන්නේ ඔහුගේ කාමරයේ ක්‍රියා කාරකම් පමණි. තඩියාගේ ඇඳ ඇත්තේ ජනෙලය ලඟය. සෑම දාම වාගේ හවසට ගෑණු හොස්ටල් එකේ කෙල්ලෝ නොයෙකුත් දෑ ගැනීමට ටවුන් යති. නැතිනම් කළුතර බෝධිය වැඳීමට හෝ කටුකුරුන්දේ තැපැල් කාර්යාලයට හෝ යති.

මේ හැම ගමනක්ම ඔවුන් යන්නේ අපේ කාමරයට පහලින් ඇති පාරෙනි. කෙල්ලන්ගේ කිචිබිචිය ඇසෙනවිටම තඩියා ඉද්ද ගැසුවාක් මෙන් ඉන්නා තැනින් නැගිටියි. දඩ බඩ ගා ඇඳ උඩට පැනගන්නා ඔහු එහි දණ ගසාගෙන බොහෝ වේලාවක් අවට නරඹමින් සිටියාක් මෙන් සිට, කෙල්ලන් ලඟට පැමිණි විට, "හාලෝඕඕ , කොහෙද යන්නේ?" කෙල පෙරෙන හඬින් අසයි.

"අපි ටවුන් යනවා හෝ බෝධියට යනවා, ඔයත් එනවද ?" කියා කෙල්ලෝ අසති. තඩියා උත්තර දෙන්නට පෙර "පාඩම් කරන්න තියෙනවා" කියා අපි ඔහුවත් කෙල්ලන්වත් අධෛර්‍යමත් කරන්නේ මල පෙරේත කමට කෙල බේරි බේරී තඩියා උඩ තට්ටුවේ ඇති අපේ කාමරයේ ජනේලයෙන් එලියට පනීවි යැයි බයෙන් මුදලි, සංගේ හා මා එළියේ පහල කෙල්ලන්ට නොපෙනෙන ලෙස තඩියාගේ කකුල් දෙකෙන් වැරෙන් අල්ලාගෙන සිටින ගමන්‍ ය.

“එහෙනම් අපි යනවා" කියා කෙල්ලෝ තඩියාට අතවනා ඔහු පසුකර යයි. "බායි, බායි” කියා කෙල්ලන් නොපෙනී යනතුරා සිටින තඩියා එකවරම ඇඳට පැන උඩුබැලි අතට පෙරලී, "මෙහෙම බඩුවක් නැතුව ඉඳලා වැඩක් නැහැ" කියා දඩි බිඩි ගා පපුවට ගසා ගනී. මුගේ පර්ශු කැඩේයයි බියට පත්වන අපි තිදෙනා වහා ඇඳට පැන අමාරුවෙන් අත් දෙක තදකර ඔහු නවතා ගන්නෙමු. මේ මනෝමෙන් ලව් කිරීම කෙල්ලන් දන්නේ නැත. කෙල්ලන් හිතන්නේ තඩියා හරි ඩීසන්ට් පොරක් බවය. (මුගේ වල්කම දන්නේ අපිනේ!)

සංගේ ගේ ගම ගම්පහය. ඔහු ගම්පහ බණ්ඩාරනායක  විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. මුදලිට අනුව සංගේට එම නම සෑදුනේ මෙසේය. සංගේට නෑ වන මහා නායක ස්වාමීන් වහන්සේ කෙනෙකු සිටියේය.  උන් වහන්සේ ජපානයට වඩින අවස්ථාවක තම ඥාති පුත්‍රයාද රැගෙන යාමට තීරණය කලේය. ඒ සඳහා වීසා ලබා ගැනීමට නොහැකි වූයෙන් (ඔහුගේ මුහුණ දුටුවිට වීසා නොදීම අපට තේරුම් ගත හැකිය.) මහානායක ස්වාමීන් වහන්සේ ඔහුව මහණ කරන ලදි.  ජපානයට ගොස් පැමිණීමෙන් පසු සංගයා උපැවදි විය.  සංගයාව සාසනයේ තබා ගැනීම සාසනයට හොඳ නැති බව  තේරුම් ගත් ස්වාමීන් වහන්සේද ඒ ගැන කිසිත් පැවසූයේ නැත.

සංගයා සිය සරම හෝදන්නේ මාස 3 කට වරකි. ඇඳේ බෙඩ් ෂීට්, කොට්ට උරද එසේය. නාන්නේ මාසයකට වරකී. ඇඳුම් බෙඩ් ෂීට් සෝදන්නේ නැත්තේ මන්දැයි ඇසූවිට ඔහු පවසන්නේ සේදූවිට ඒවායේ ෆ්ලෝරා එක වෙනස් වෙන බැවින් සෝදන්නේ නැති බවය.


                                                                         සාක්කි!


උදේ වාට්ටු හෝ ලෙක්චර්ස් යන්න සූදානම් වී ඔහු සිය සරම වලල්ලක් මෙන් ගලවා ඇඳ උඩ තබා යයි. ආපසු පැමිණි පසු අර වලල්ල ඇතුලට නැවත බසිනු ලැබේ. සරම සාමාන්‍යයෙන් අඳින්නේ පපුවටය.

කේන්ති ගිය විටත්, තේ හදන විටත් සරමේ කැහිපටද පපුවටම අඳිනු ලැබේ. තාමත් ඔහුට මේ පුරුද්ද ඇති බව ඔහුගේ බිරිඳ අද මගේ කලින් කතාවකට කමෙන්ට් දමමින් පවසයි. ඔහු නිදාගන්නේ නැත. ඔහු "රෙස්ට්" කරයි. නිදිමත වූ විට "මම රෙස්ට් කරන්නද ?" කියා අසා නිදාගන්නට යයි. සංගේගේ එක් අතක ඇඟිල්ලක ප්‍රශ්නයක් ඇත. ඒ ඇයිදැයි ඇසූවිට මුදලි දෙන උත්තරය මෙහි සටහන් කල නොහැකිය .




                
මරයේ මිනිස් හිස් කබලක්  හා මිනිස් ඌර්වස්ථියක් තිබිණ. මේවා කොහෙන් ලැබුනේ දැයි මම නොදනිමි. නමුත් අපට ලැබුනේ අපේ කට්ටිය හොස්ටල් එකට ඒමට පෙර "ජයමහල්" (NIHS  ඉදිරිපිට බෝඩිමක් ) හී තිබුනු හිස් කබලදැයි මා දන්නේ නැත. කෙසේ නමුත් මේ මිනිස් අස්ථි කොටස් අපි බොහෝ පරිස්සමින් තබා ගතිමු. ඒවායේ වෙනත් ප්‍රයෝජන තිබිණි. 
                 



හිස් කබල ලයිට් නැති වෙලාවට ඉටිපන්දම් ගැසීම සඳහා ද, පාඩම් කරනවිට නිදි මත වූ විට නිකටට තබාගෙන කිරා ගැසීමටද, දේශන ලියූ කොල සුළඟේ යාම වැලැක්වීමටද, වලයාව කේන්ති ගැස්වීමටද,
  (වලයා බලන්න), තනි කමක් දැණුන විට බදා ගෙන නිදාගැනීමටද, පාවිච්චි කරන ලදි. ඌර්වස්ථිය කේන්ති ගිය විට කේන්ති ගැස්වූ එකාට පහර දීමටද, අපිට වල දැමීම සඳහා එන එවුන්ව පලවා හැරීමටද, පාවිච්චි කරන ලදි. ඊට අමතරව වෙනත් කාමර සමඟ ඇතිවන අන්තර් කාමර  වලිවලට ගෙන යාමද කරන ලදි.

බාත් රූම් හා ටොයිලට් පෙළ පිහිටා තිබුනේ අපේ කාමරයට ඉදිරිපසය. දත් මදින්න යන එකාත්, ටොයිලට් යන එකාත්, රෙදි සෝදන්න යන එකාත් අපිට වල දැමීමට  පැමිණ දොරට තට්ටු කරයි. එවිට ඔවුනට ඌර්වස්ථි ප්‍රහාරයක් එල්ල වේ.

හොස්ටල් එකට පැමිණි මුල් කාලයේ මෙහි ටොයිලට් සංස්කෘතියට හැඩ ගැසීමට මට අපහසු විය. කුඩා කල සිටම මට සරම නුහුරු විය. සරමක් හැඳ ගැටය කොපමණ හොඳින් ගැසුවත් එය පහසුවෙන්ම ගැලවෙයි. කොට කලිසම හැඳීම ඊට වඩා පහසුය .

එසේම මට සරම නුහුරු බව තේරුම් ගත් අපේ අපතයන් ඉතාම දරුණු අවස්ථාවල සරම කැඩීමට උත්සාහ කලහ. සරම හැඳ නිදාගතහොත් පසු දින උදේ අවදිවන විට සරම නැත. මේ නිසා මම හොස්ටල් යනවිට සරම් ගෙන යාමට මැලි වූයෙමි .

නමුත් අම්මා, "හොස්ටල් යනකොට සරම් අරන් යන්න" කියා මට බලෙන්ම සරම් දුන්නාය. ඇඟ හෝදන්න යන විට තුවායද, සරමද, සබන්, දත් බෙහෙත් හා දත් බුරුසුවද රැගෙන යමි. නාන කාමර හා ටොයිලට් වල අගුළු නැත. තුවා හා සරොම් දමන්නේ දොර උඩිනි. ඒවා දොර උඩින් දමා ඒ පැත්ත බලා මේ පැත්ත බලන විට තුවායද, සරමද අන්තර්ධාන වෙයි. ඊලඟට ඒවා ආපසු දෙන ලෙස කොපමණ පින්සෙන්ඩු වුවත් එලියේ එවුන් කතා කරන්නේ වත් නැත. අවසානයේ හිරි ඔතප් අමතක කර උපන් ඇඳුමෙන් ආපසු තෙත පිටින් කාමරයට ඒමට සිදුවේ.

එහි ඇවිත් බලන විට තුවාය හා සරම මට පෙර කාමරයට ඇවිත් ඇත. මගේ තුවායෙන් කවුරු හෝ ඇඟ පිසදා ඇති බවද පෙනේ. දෙවන දින ද මෙසේය. තුවාය හා සරම ආරක්ෂා කරගැනීමට උත්සාහ කලහොත් නාන්නට නොහැකිවේ. අනිත් එවුන්ද අමු නිරුවතින් බාත් රූම්, ටොයිලට් යන්නේ එන්නේ මේ හේතුව නිසා බව තේරුම් ගත්  මම ඉන් පසුව  ඔවුන් මෙන් නිරුවතින් බාත්‍ රූම්, ටොයිලට් යාමට පුරුදු වුනෙමි. හොස්ටල් ඒමෙන් අපේ හිරි ඔතප් නැති වන්නේ එසේය. මේ ක්‍රමයට විරුද්ධව සටන් කල එවුන්ද නැත්තේ නොවේ.

සරම හා තුවාය අන්තර්ධාන වනවිට එය කරන්නේ කවුදැයි හරියටම සොයාගන්නා මේ යක්කු ඇඟ වැහෙන්න සබන් ගා හොල්මනක් මෙන් නිරුවතින් මේ වැඩේ සිදුකළ එකාගේ කාමරයට යයි. "කැ......යා" කියා කෑ ගසමින් ඔහු බදා ගනී. ඉන්පසුව ඔහුගේ ඇඳේ පෙරලේ. සබන් හා තෙත පිටින් ඔහුගේ ඇඳුම් අඳී. ඉන්ෆොමේශන් වැරදී කාව බදා ගනීදැයි නොදන්නා නිසා මුලු කාමරයේම ඉන්නා එවුන් පැන දුවයි. මේ අවස්ථාවේදීම පරණ ඇරියස් තියෙන එවුන්වද බදා ගන්නා නිසා උන්ද පණ බේරගෙන දුවති. මේවා දකින අනිත් එවුන්ට හරි ආතල්‍ ය.

 



Wednesday, August 25, 2021

1. මුල් පිටුව

 


අද 2021 අගෝස්තු 25 වෙනි බදාදා.

අද මට විශේෂ දවසක්! පරිඝණකයට යොමු වූ දා පටන් හිතේ තිබූ බලාපොරොත්තුවක් අද මල්පල ගැණුනා. කවදා හෝ බ්ලොග් එකක් ලියන්න හිතේ කොණක තිබුන ආශාව ඉටු උනේ අද! අහම්බෙන්, බලාපොරොත්තු නොවූ විදියට. මගේ හිතාදර මිතුරු මහේෂ් රණවීර ගැන ඔහුගේ හිතවතෙකු වූ තට්ටයා ලියා තිබුණු බ්ලොග් සටහනක් ඔහු ඊයේ මට පෙන්වූවා. (මෙහි ඔහුව තට්ටයා ලෙසින් හඳුන්වන්නේ ඔහුට කරන අපහාසයක් ලෙස නොව blog ලිවීමේ කළාවේ සිරිතක් ලෙසටයි, ඒ බව මට කියා දුන්නෙත් තට්ටයා මයි).

ඒ සම්බන්ධයෙන් කෙටි සටහනක් මම එහි comments කොටසේ ඇතුල් කලා. ඒ සටහන දුටු තට්ටයා අද ඔහු අමතා තිබුණා. දෙදෙනා අතර ඇතිවී තිබුණු සතුටු සාමීචියේදී මහේෂ් මා ගැනත් මා විසින් රචිත "87 කණ්ඩායම" පොත ගැනත් තට්ටයා හා පවසා තිබුණා. "ඩොක්ර්ටට කියන්න blog එකක් ලියන්න කියලාතට්ටයා මගේ මිතුරාට කියා තිබුණා.

"මම අද තට්ටයාට කතා කරා. ඌ කිව්වා උඹට blog එකක් පටන් ගන්න කියලා" මහේෂ් අද රාත්‍රීයේ මම ඔහුගේ නිවසට ගොඩ වෙනකොටම කිව්වේ එහෙම.

"Blog එකක් කරන්න මාර ආසයි, ඒත් දන්නෑ නේ" මහේෂ්ට මම කිව්වේ හිතේ යට තිබුණු ආසාව තද කරගෙන. "ඔහොම හිටපං" ඔහු තම දුරකතනය අතට ගත්තා, මොහොතකින් "මේ මම කිව්ව යාළුවා ඉන්නවා, එයා blog එකක් කරන්න ආසලු, ඒත් එකක් හදාගන්න දන්නෑලු, ඉන්න මම එයාට ෆෝන් එකක් දෙන්න…"

විනාඩි ගණකින් තට්ටයා මගේ blog එක ගොඩනගන්න පටන් ගත්තා. පැය දෙකකටත් අඩු කාලයකදී මම මේ මගේම බ්ලොග් එකේ මුල් පිටුව ලියනවා. ඉතින්,

මේ කර්තව්‍යයේදී මගේ බ්ලොග් ගුරුතුමා බවට පත්වූ "තට්ටයාගෙ කොලම" ලියන තට්ටයාත් මා ඔහුට හඳුන්වාදී මගේ blog සිහිනය සැබෑ කරගන්නට මග පාදා දුන් මගේ අඹ යහළු මහේෂ් රණවීරත් කෘතුගුණ පූර්වකව මතක් කරමින් මම නවතිනවා. දැන් ඉතින් ලියමු.

 

රවීගේ කොළම!

 

දොස්තර පැටව් 2 කළු නංගී පාඨකයන්ගේ,  බැචාලා හා බැචීලාගේ දැන ගැනීම් පිණිසයි - මේ කතාංගය අපේ කාමරයේ සිදු වූවක් නොවේ. කීමේ පහසුව සඳහා අපේ කාමර...