Wednesday, August 25, 2021

1. මුල් පිටුව

 


අද 2021 අගෝස්තු 25 වෙනි බදාදා.

අද මට විශේෂ දවසක්! පරිඝණකයට යොමු වූ දා පටන් හිතේ තිබූ බලාපොරොත්තුවක් අද මල්පල ගැණුනා. කවදා හෝ බ්ලොග් එකක් ලියන්න හිතේ කොණක තිබුන ආශාව ඉටු උනේ අද! අහම්බෙන්, බලාපොරොත්තු නොවූ විදියට. මගේ හිතාදර මිතුරු මහේෂ් රණවීර ගැන ඔහුගේ හිතවතෙකු වූ තට්ටයා ලියා තිබුණු බ්ලොග් සටහනක් ඔහු ඊයේ මට පෙන්වූවා. (මෙහි ඔහුව තට්ටයා ලෙසින් හඳුන්වන්නේ ඔහුට කරන අපහාසයක් ලෙස නොව blog ලිවීමේ කළාවේ සිරිතක් ලෙසටයි, ඒ බව මට කියා දුන්නෙත් තට්ටයා මයි).

ඒ සම්බන්ධයෙන් කෙටි සටහනක් මම එහි comments කොටසේ ඇතුල් කලා. ඒ සටහන දුටු තට්ටයා අද ඔහු අමතා තිබුණා. දෙදෙනා අතර ඇතිවී තිබුණු සතුටු සාමීචියේදී මහේෂ් මා ගැනත් මා විසින් රචිත "87 කණ්ඩායම" පොත ගැනත් තට්ටයා හා පවසා තිබුණා. "ඩොක්ර්ටට කියන්න blog එකක් ලියන්න කියලාතට්ටයා මගේ මිතුරාට කියා තිබුණා.

"මම අද තට්ටයාට කතා කරා. ඌ කිව්වා උඹට blog එකක් පටන් ගන්න කියලා" මහේෂ් අද රාත්‍රීයේ මම ඔහුගේ නිවසට ගොඩ වෙනකොටම කිව්වේ එහෙම.

"Blog එකක් කරන්න මාර ආසයි, ඒත් දන්නෑ නේ" මහේෂ්ට මම කිව්වේ හිතේ යට තිබුණු ආසාව තද කරගෙන. "ඔහොම හිටපං" ඔහු තම දුරකතනය අතට ගත්තා, මොහොතකින් "මේ මම කිව්ව යාළුවා ඉන්නවා, එයා blog එකක් කරන්න ආසලු, ඒත් එකක් හදාගන්න දන්නෑලු, ඉන්න මම එයාට ෆෝන් එකක් දෙන්න…"

විනාඩි ගණකින් තට්ටයා මගේ blog එක ගොඩනගන්න පටන් ගත්තා. පැය දෙකකටත් අඩු කාලයකදී මම මේ මගේම බ්ලොග් එකේ මුල් පිටුව ලියනවා. ඉතින්,

මේ කර්තව්‍යයේදී මගේ බ්ලොග් ගුරුතුමා බවට පත්වූ "තට්ටයාගෙ කොලම" ලියන තට්ටයාත් මා ඔහුට හඳුන්වාදී මගේ blog සිහිනය සැබෑ කරගන්නට මග පාදා දුන් මගේ අඹ යහළු මහේෂ් රණවීරත් කෘතුගුණ පූර්වකව මතක් කරමින් මම නවතිනවා. දැන් ඉතින් ලියමු.

 

රවීගේ කොළම!

 

7 comments:

  1. සත්තකින්ම මමත් මේ බ්ලොග් ලෝකයට එක් වූයේ බ්ලොග් වල අවාරයේදී. බ්ලොගින් එහෙමත් නැතිනම් බ්ලොග්කර්නයේ ස්වර්ණමය අවධිය පහව ගොස් ඇත්තටම මේ එය අවරට යන කාලයක් ලෙසයි තතු දත්තෝ හඳුන් වන්නේ.
    ඒනිසාම මේ කාලයේ කවුරුන් හෝ බ්ලොග්කරණය වෙත යොමුවන්නේ නම් එය සිංහල බ්ලොග් ලෝකයට කරණ්නාවූ මහත් ඵල මහත් ආනිසංස දෙන පුන්‍යක්‍රියාවක් ලෙසයි මා දකින්නේ.
    එම "පිංකමට" යාන්තමින් හෝ දායකත්වයක් ලබ දීමට අවස්ථාව ලැබීමත් ලොකු සතුටක්.
    වෘථීමය වශයෙන් වෙදැදුරෙකු ලෙස රටේ අවම පහසුකම් ඇති පලාතක සිට ඔබ ලබන අත්දැකීම් බොහොමයක් ඇති. ඒවා කියවන්නට පාටක පිරිසක් ඉදිරියේ හැදේවි.
    මිනිසෙකු පරිපූර්ණ වන්නට පුතෙක් හදා ගසක් වවා පොතක් ලියන්නට අවශ්‍යයැයි චීන ප්‍රස්ථාව පිරුලක් ඇත. බොහො පුතුන් ජාතක කල පියවරුද, ගස් දහස් ගනනින් වැවූ ගොවි රජුන්ද වෙසෙන මේ ලක්බිම පොත් ලියපු අය වෙත් නම් ඒ ඉතා කුඩා ප්‍රථිශතයකි. ඒ නයින් ගත් කල ඔබ ඒ කඩ බිම පසු කොට ඇත.
    වචන ලක්ෂ තුනකටත් වඩා අවකාශයේ අකුරු කොටා ඇති මාහටද තවම පොතක් මුද්‍රන ද්වාරයෙන් පහරන්නට නොහැකිවිය!
    ඔබ ඒ අතින් බ්ලොග් ලෝකයට පිය නගන්නේ ලේඛකයෙකු ලෙසින්ය.
    මේ සියළු කාරණා එක්ව බලන කල ඔබට මෙන්ම මටත් ජීවිතයේ අමතක නොවන දවසකි.
    ඒ බ්ලොග් ලෝකයට ලියන්නනැවැසිම මොහොතක ලේඛකයෙකු එකතු කිරීමට මාහට සම්මාදම් වන්නට හැකි විය.
    ඔබගේ ලේඛන දිවිය මෙන්ම සාමන්‍ය ජීවිතයත් සාර්ථක වේවා.

    ReplyDelete
  2. ස්තූතියි මංජුල, මගේ blog සිහිනය සැබෑ කරලා දුන්නට. තව ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න තියෙනවා. මං ගැන ලියලා තියෙන දේවල් හා මාව දිරි ගන්වන්නට ඔබ ලියා ඇති සියල්ලටත් බොහෝම තුති!

    ReplyDelete
  3. බ්ලොගය දිගටම ලියන්නට දිරි
    ලැබෙන්නයි මම පතමි ආසිරි!



    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදී ඔයාගේ අත හිතට! වෙලාවක් ලැබුණු ගමන් ඔයාගේ පිටුවටත් ගොඩ වදින්නම්, ගොඩක් ඉගෙන ගන්න තියෙනවා!

      Delete
  4. සුභ පැතුම්. තට්ටයටම කියල අපේ බ්ලොග් නුත් එල්ල ගත්තනම් , අපිත් දාගන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අත හිත දෙන්න ආවට, ඔයාගේ පිටුවටත් ඉක්මනට එබිලා බලන්න ඕනේ, ගොඩක් දේ තියෙනවා ඔයාලගෙන් ඉගෙන ගන්න.

      Delete
  5. සුබපැතුම් රවී, බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගන්නවා. followers widget එකක් දාගත්තානම් follow කරන්න ලේසියි. තව ලියමු! කියවන්න අය ඉන්නවා ඕන තරම්

    ReplyDelete

දොස්තර පැටව් 2 කළු නංගී පාඨකයන්ගේ,  බැචාලා හා බැචීලාගේ දැන ගැනීම් පිණිසයි - මේ කතාංගය අපේ කාමරයේ සිදු වූවක් නොවේ. කීමේ පහසුව සඳහා අපේ කාමර...