Friday, September 10, 2021

දොස්තර පැටව් 2

කළු නංගී

පාඨකයන්ගේ,  බැචාලා හා බැචීලාගේ දැන ගැනීම් පිණිසයි - මේ කතාංගය අපේ කාමරයේ සිදු වූවක් නොවේ. කීමේ පහසුව සඳහා අපේ කාමරයේ සිදුවූ ලෙස කියමි. මේ කතාවේ කතා නායකයා හා සෙසු චරිත අපේ බැචාලා හා බැචීලා බොහෝ දෙනෙක් දන්නා බව අනුමාන කරමි. පවුල් අවුල් ඇතිවිය හැකි බැවින් කරුණාකර ඔවුන්ගේ නම් දමා කමෙන්ට්ස් නොදමන මෙන්ද, නම් මගෙන් ප්‍රසිද්ධියේ නොඅසන මෙන්ද ඉල්ලා සිටිමි.

එසේම කසාද බැඳීමට පෙර කරන කියන ලද දේ සම්බන්ධයෙන් කසාද බැඳීමෙන් පසු වග කීමට බැඳී නැති බවද මගේ මිතුරා වෙනුවෙන් ඔහුගේ බිරිඳට මෙසේ ලියා දන්වමි. (මිතුරාගේ බිරිඳ මෙය දකීමට හෝ යුතුකමක් ලෙස මෙය අපේ බැචීලා විසින් ඇයට පෙන්වීමට ඉඩ ඇති බැවිනි. කරුණාකර නොදැන කල වරදට ඔහුගෙන් පලිගැනීමෙන් වලකින්න)



අපේ හොස්ටල් කාමරය

අපේ හොස්ටල් එකේ කාමරයක ඇඳන් හතරකි. දෙකක් ජනේලයට ආසන්නයේ ඇත. මේ පිහිටීම යම් යම් කාරණා සඳහා වැදගත් විය. උදාහරණයක් ලෙස කෙල්ලන්ට ඇපොයින්මන්ට්ස් දීම හෙවත් වෙලාව වෙන්කර දීමට හා එම ඇපොයින්මන්ට් එකට පැමිණ ඇත්තේ හරි කෙනාදැයි සොයා බැලීමට මෙම ජනේලවල පිහිටීම වැදගත් වේ. අපේ බැචෙක් එකවර කෙල්ලන් දෙතුන් දෙනෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වීමට නම් දරා සිටියේය.

නිවාඩු දිනවල ඔහු මේ කෙල්ලන්ට හමුවීම සඳහා ඇපොයින්මන්ට්ස් හෙවත් වේලාවන් වෙන් කර දෙයි. මේ කෙල්ලන් අපේ බැචියන් නොවේ. අවට තරුණියන් හා අතරමඟ මුණ ගැසී සම්බන්ධකම් ඇති කරගන්නා අයයි. එසේම ඔහු මේ කෙල්ලන් සමඟ පාරේ චාටර් නොවීමට වගබලා ගත්තේය. අසු වීමට හා ගුටි කෑමට සිදු නොවීමටත්, අයියලා, මස්සිනාලාගෙන් සිදුවිය හැකි  මග අනතුරු වලින් ආරක්ෂා වීමටත්ය. මේ සම්බන්ධයෙන් මුදලි කීවේ මේ ගුටි කෑමෙන්ම ලබා ගත් දැනුම් සම්භාරය  අත්දැකීමට පෙරළා ගැනීමක් බවයි.

නිවාඩු දිනවල උදෙන්ම මේ ඇපොයින්මන්ට්ස් ක්‍රමය පටන් ගනී. කාමරය පහලින් කිංකිණි හඬින් අපේ මිතුරාගේ නම කියනු ඇසෙයි. ඔහු ඉද්ද ගැසුවාක් මෙන් ඇඳෙන් පනී. ඉන් පසුව ඇත්තේ මගේ හෝ තඩියාගේ කොටසයි. අපිට ඇපොයින්මන්ට්ස් ලිස්ට් එක කලින් දැනුම් දෙනු ලැබේ. ඒ අනුව මම හෝ තඩියා ජනේලයෙන් එබී පහල බලා, ඇපොයින්මන්ට් එක සඳහා පැමිණ ඇත්තේ හරි කෙනා නම්, මල් හිනාවක් පා " Goood Morning, ඉන්නවා " යනුවෙන් පවසා සිටින්නෙමු.

ඉන් ටික මොහොතකට පසු අපේ මිත්‍රයා හැඳ පැළඳ තම මිතුරිය හමුවීමට යයි. අපි තිදෙනා ජනේලයෙන් එබී කෙල හලමින් ඔවුන් දෙදෙනා ලෙක්චර්ස් හෝල් පැත්තට නොපෙනී යන තෙක් බලා සිට දුක් වීමු. පැයකට දෙකකට පසු අපේ රූමා සාකච්ඡා නිමකොට තෘප්තිමත් පෙනුමෙන් ආපසු පැමිණේ. කොපමණ ඇසුවත් අපේ හිත රිදෙයි කියා හෝ අපිට ඊරිසියා හිතෙයි කියා හෝ විස්තර නොකියයි.

තව පැයකින් පමණ ඊලඟ ඇපොයින්මන්ට් එක යෙදී ඇත. නැවතත් අර විදියටම පහලින් මිහිරි නඳින් මිතුරාගේ නම කියනු ඇසේ. දිනකට ඇපොයින්මන්ට්ස් තුනක් පමණ වැටෙන බැවින් මෙය මටත් තඩියාටත් මහ වදයක් විය. තවද, මේවා ගැස්සුනහොත් මටත් තඩියාටත් වරදට අත් උදව් දීමද වරද කිරීම හා සමාන ලෙස සලකා කණේ පාර හෝ ගුටි කෑම බලාපොරොත්තු විය හැකි බැවිනි.

තවත් නිවාඩු දිනයක් උදාවිය. අපට ඇපොයින්මන්ට්ස් ලිස්ට් එක කලින්ම ලැබිණි. වෙන මොකක්දෝ කල්පනාවක සිටි මට එය හරි හැටි ඇසුනේ නැත. ඒ නිසා කාලසටහන අප්සට් ගියේය. උදේ අට හමාරට පමණ පලමු ඇපොයින්මන්ට් එක වැඩ කලේය. මිහිරි කටහඬකින් මගේ මිතුරාගේ නම කියනු ඇසුනි. සුපුරුදු ලෙස ඔහු ඉද්ද ගැසුවාක් මෙන් නැගිට්ටේය. එක මයිල් ගහක්වත් නොසොල්වා මම හෝ තඩියා බලන තුරු ඔහු සීරුවෙන් සිටී.

 මෙය ගුටි කන වැඩකි. කරුමයට ජනේලය  ලඟම සිටියේ මමය. වහා තඩියාගේ ඇඳට පැන ගත් මම ජනේලයෙන් එබී පහල බැලුවෙමි. නංගී කෙනෙක් සිනහා සෙමින් උඩ බලා සිටී. "ඉන්නවා" සිනහසී පැවසූ මම බැචාට සිග්නල් එක දුනිමි. ඔහු මට ඇසක් ගසා පහලට බැස්සේය. පඩිපෙල බසින හඬද ඇසිණි. ඊට ටික වේලාවකට පසු ඇසුනේ බලාපොරොත්තු නොවූ  ශබ්දයකි. මොට යමකින් හෝ දෙකකින් වේගයෙන් තඩිබාන හඬ  විනාඩි කිහිපයක් ම ඇසිනි.

"දඩාස්" ගා කාමරයේ දොර ඇරිණි. අනංගයා ෂර්ට් එක ඉරාගෙන, කොන්ඩය අවුල් වී, දහඩිය දමමින් වෙව්ලමින් මා දෙස බලා, "ප........යා තෝ මාව කෑවා" කියා කෑ ගසා දොරවසා අගුලද දමා ඌර්වස්ථිය හොයන්නට විය. මෙතැන මිනී මැරුමක් සිදුවීමට යන බව තේරුම් ගත් මුදලි සහ තඩියා වහා පැන ඔහු අල්ලාගෙන මාව බේරා ගත්තේය. පසුව දැනගත් අන්දමට මම ඕකේ එක දී තිබුනේ වැරදි නංගිටය. ඒ නංගීට දී තිබුනේ වෙනත් වෙලාවකි. ඇය පැමිණ තිබුණේ අද නියමිත වෙලාවට එන්නට බැරි බව බැචාට කියන්නටය. ඇපොයින්මන්ට් එක දී තිබුනේ කළු නංගීටය. තවත් කළු වෙන එක වලක්වා ගන්නට කළු නංගී රැගෙන ආ කුඩය අපේ රූමාට හරහට හිටියේය.

එන්න නොසිටි නංගීට මම අත්වැරැද්දකින් ඕකේ එක දීමෙන් දෙදෙනා එකට හමුවිය.

අපට කුඩ දෙකකින් තලනවා මෙන් ඇසුන බැවින් ඇය අතද කුඩයක් තියෙන්නට ඇතැයි අපි අදද අනුමාන කරමු. අපේ බැචා පඩිපෙළේ නොහොබිනා විදියට හැසිරෙන්නට ඇතැයිද කළු නංගි ගේ අතටම හසු වෙන්නට ඇතැයිද අපට සිතේ. කෙසේ වෙතත් එක කුඩ පහරක් වත් වැදුනේ නැති බවද, වදින්නට පෙර පැනගත් බවද  අප මිතුරා සපථ කරමින් කියයි.

නමුත් තැලීම්, සීරීම් මහ ගොඩක් ඇතිවූයේ කෙසේදැයි අප ඇසුවේ නැත. කෙල්ලො දෙන්නා එකතුවී මේකා කොනිත්තන්නටද ඇති බව මා ඌර්වස්ථි ප්‍රහාරයෙන් බේරා ගත් මුදලි කියයි.

5 comments:

  1. කාට කාටත් හොඳ පාඩම් ය!

    ReplyDelete
  2. රවී සර්, ඔය සබ්ජෙක්ට් එකේදි අනිවාර්යයෙන්ම පිලිපැදිය යුතු මුලික නීති රීති කීපයක් තියෙනවා.
    එව්වා කැඩුවොත් සොරිම තමා. ඔතනින් ගියා ඇති


    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  3. මංගල්ලයයි...
    කුඩ පාර කාල බේරුණා ඇති..
    පොල් ගහ මාක් එක වැදුණ නං..
    හැක්

    ReplyDelete
  4. හිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
    එසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!

    අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

දොස්තර පැටව් 2 කළු නංගී පාඨකයන්ගේ,  බැචාලා හා බැචීලාගේ දැන ගැනීම් පිණිසයි - මේ කතාංගය අපේ කාමරයේ සිදු වූවක් නොවේ. කීමේ පහසුව සඳහා අපේ කාමර...